කෝප් කමිටු රැස්වීම් නවත්වයි

කෝප් කමිටු රැස්වීම් නවත්වයි

කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කෝප් කමිටුවේ රැස්වීම් වාරයක් අද පස්වරු එකට කැඳවා ඇති බවත් එම වේලාවට සිකුරාදා මුස්ලිම් ආගමික වතාවත් පැවැත්වෙන හෙයින් එහි සාමාජිකයන් වන එස්.එම්. මරික්කාර් සහ රාවුෆ් හකීම් මහත්වරුන්ට සහභාගී වීමට නොහැකි වන බවත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසද ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ, කෝප් කාරක සභා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු නතර කරන බවයි.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසූයේ, කෝප් කමිටු රැස්වීම අදාල ආගමික වතාවත් පැවැත්වෙන කාලයෙන් පසුව පවත්වන්නට තිබූ අතර නැවත දැනුම් දෙන තුරු නතර කළේ ඇයි ද යනුවෙනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ, කෝප් කමිටුවේ පැනනැගී ඇති ගැටලුකාරී තත්වයන් මඟහරවාගෙන අදාල රැස්වීම් පවත්වන බවයි.