කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

පවතින ධාරාණිපාත වර්ෂාව සහ අධික සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ දියතලාව අතර ප්‍රදේශයට දැවැන්ත කරපන්ටයින් ගස් ස්ථාන හතරකදී අද (24) අලුයම කඩාවැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දියතලාව පොලිසිය පැවසීය.

තවද මෙම මාර්ග කොටසේ කරපන්ටයින් ගස්මෙන්ම කණ්ඩි උඩ දැවැන්ත පයිනස්ගස්ද පිහිටා තිබෙන බවත් ඒවාද කොයි මොහොතක හෝ කඩා වැටීමේ අවදානමක් ඇති බවද රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම මාර්ගය භාවිතා කරන්නන්ට විකල්ප මාර්ග නම් කර ඇති බවත් විකල්ප මාර්ගය ලෙස දියතලාව උඩපාර කහගොල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසත් දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර දයාරත්න මහතා පැවසීය.

මෙම මාර්ගයට වැටී ඇති සියලු ගස් කපා කඩිනමින් ඉවත් කිරීම සඳහා දියතලාව යුද හමුදාව දියතලාව පොලිසිය හපුතලේ විශේෂ කාර්ය බළකාය, හපුතලේ ප්‍රාදේශීය සභාව, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහන කණ්ඩායම් එක්ව කටයුතු කරන බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

Share This