කෝටියකට වඩා වටිනා කොකේන් ගිල පැමිණි උගන්ඩා ජාතිකයා ගුවන්තොටේදී අල්ලයි

කෝටියකට වඩා වටිනා කොකේන් ගිල පැමිණි උගන්ඩා ජාතිකයා ගුවන්තොටේදී අල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය සමග උගන්ඩා ජාතිකයෙකු ඊයේ (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස්කර ගිල උගන්ඩාවේ කම්පාලා නුවර සිට දෝහා වෙත පැමිණ, කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරණ ගුවන් යානයෙන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මොහු 31 හැවිරිදි වඩු කාර්මික වෘත්තීයේ නියැලෙන පුද්ගලයෙකු බවටයි, කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඔහු පිළිබඳ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර, ඒ අනුව මොහු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන ස්කෑන් පරීක්ෂා වකට ලක් කිරීමේ දී, මොහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ඇති බවට කරුණු සනාථ වීම නිසා, මෙම උගන්ඩා ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම උගන්ඩා ජාතිකයා මේ වනවිට රුපියල් කෝටියක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 45 ක් පමණ සිය මළ සමග පිටතට පහ කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.