මිලියන 13ක කොකේන් කරල් ගිල මෙරටට ආ වී ගොවියෙකු අල්ලයි
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර, ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ “හරිත මාවත” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු සියරාලියෝන් හි වාසය කරන 32 හැවිරිදි වී ගොවියෙකි.
ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටව යාමට පැමිණි මෙම ගුවන් මගියා පිළිබඳ සැකසිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, මොහු ස්කෑන් පරීක්ෂා කිරීමකට ලක් කිරීමේ දී, මොහුගේ ආමාශය තුළ කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, අත් අඩංගුවට ගත් මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර, එම නිලධාරීන් මෙම ගුවන් මගියා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී ඔහු ගිල තිබූ මත්ද්‍රව්‍ය සහිත කරල් 17ක් ඉවතට ගෙන තිබූ අතර එම මත්ද්‍රව්‍ය වල වීථි වටිනාකම රුපියල් මිලියන 13ක් බව සඳහන්ය.