ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවෙන් අගතියට පත් දෙමව්පියන් පිරිසක් CIDයට

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවෙන් අගතියට පත් දෙමව්පියන් පිරිසක් CIDයට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් නියෝජනය කරන ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැදවා තිබෙනවා.

ඒ ඔවුන් සතුව පවතින සාක්ෂි ලබා ගැනීම සඳහායි. ඔවුන් ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද කැදවා තිබෙනවා.

ඒ, මත භේදයකට තුඩු දී ඇති ශිෂ්‍යත්ව විභාග ගැටලුව සම්බන්ධයෙන් සිදු කරමින් පවතින පරීක්ෂණ වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකටයි.

ඊට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ද එක්ව සිටියා.

මීට පෙර ද දෙමාපියන් පිරිසක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

සාකච්ඡාවට එක් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වෙත සාක්ෂි ඉදිරිපත් කරන බවයි.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට තාවකාලිකව අත්හිටු වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ඒ ජනාධිපතිවරයා සහ දෙමාපියන් පිරිසක් අතර පෙරේදා පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.