චමෝදිගේ මරණය ගැන සොයන පංච පුද්ගල කමිටුව හෙට පේරාදෙණිය රෝහලට

චමෝදිගේ මරණය ගැන සොයන පංච පුද්ගල කමිටුව හෙට පේරාදෙණිය රෝහලට

පසුගිය 11 වැනිදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මිය ගිය චමෝදි සංදීපනි තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම හෙට දිනයේ පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් තරුණියගේ මරණයට හේතුව තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

අදාළ එන්නත ලබාදුන් 12 දෙනෙකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි තවදුරටත් වාර්තා වන්නේ.

21 හැවිරිදි චමෝදි සංදීපනී කැටපිටිය ප්‍රාදේශීය රෝහලට පසුගියදා ඇතුළත් කර තිබුණේ පාචන රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

එදින රාත්‍රියේ එහි රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබුණේ වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහායි.

එහිදී ලබාදුන් එන්නත් දෙකකින් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත් වූ බවටයි ඥාතීන් චෝදනා කළේ.

Share This