මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

ඊයේ (04) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පළමු මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයෙන් අනතුරුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 10%ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 11%ක් දක්වා පදනම් අංක 100කින් අඩු වේ.

අපේක්ෂිත 5% මට්ටමේ උද්ධමනය ස්ථාවර කිරීමේ අරමුණින් වත්මන් ආර්ථිකය හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම තීරණයට එළඹුණු බවයි, සඳහන් වන්නේ.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති මිල දී ගැනුම් ගනුදෙනුවලදී අදාළ වන දෛනික පොලී අනුපාතිකයයි.

නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති විකිණුම් ගනුදෙනුවලදි අදාළ වන දෛනික පොලී අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වේ.

මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පොලී අනුපාත අඩු කිරීම සඳහා නිකුත් කරන ලද උපදෙස් සහ රජයේ සුරැකුම්පත්වල අවදානම් වාරික සැලකිය යුතු ලෙස අඩු කිරීම ඇතුළුව, ප්‍රතිපත්ති පොලී අනුපාතවල මෙම අඩු කිරීම මගින් කලින් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්තියේ සැළකිය යුතු ලිහිල් කිරීමක් සිදු කිරීමටද අපේක්ෂා කරන බවයි, ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.