පාකිස්තානයේ බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති

පාකිස්තානයේ බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්ති බෙදුම්වාදී සටන්කාමීහු එම ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ක්වෙට්ටා සිට පේෂාවර් බලා කිලෝ මීටර් 1600ක දුරක් ධාවනය වෙමින් පැවති ජෆාර් නම් ශීඝ්‍රගාමී දුම්රිය සටන්කාමීන් විසින් මෙලෙස පැහැරගෙන ඇති බවයි.

බෙදුම්වාදීන්, දුම්රියට ගොඩ වී දුම්රිය ඔවුන්ගේ පාලනයට ගෙන ඇත්තේ මගී දුම්රියට වෙඩි තබමින් පහර දෙමිනි.

ඔවුන් කඳුකර කලාපයක උමඟක් ආසන්නයට දුම්රිය පැමිණීමත් සමග මාර්ගයේ බෝම්බයක් අටවා පුපුරුවාහැර එය නවත්වා තිබේ.

ඉන් අනතුරුව බෙදුම්වාදීන් විසින් දුම්රියේ ආරක්ෂාවට යොදවා සිටි පාකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් නව දෙනෙකු සහ දුම්රිය රියදුරු ඝාතනය කර මගීන් ප්‍රාණඇපයට ගෙන ඇත.

එහිදී සටන්කාමීන් පහර දෙද්දී බොහෝ දෙනකු දුම්රියෙන් බැස පලා ගිය බව ද වාර්තා වේ.

මේ සමග ක්‍රියාත්මක වූ පාකිස්තාන ආරක්ෂක අංශ, මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේය.

එහිදී ඇතිවූ ගැටුම්වලින් බෙදුම්වාදීන් 27 දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බව සඳහන්.

ඊයේ (11) රාත්‍රිය පුරාම ක්‍රියාත්මක වෙඩි හුවමාරුව අතරතුර මියගිය 17 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇත.

ඉන් 12 දෙනෙකු ගේ සිරුරු පාකිස්තාන හමුදා නිලධාරීන්ගේ බවට හඳුනාගෙන තිබේ.

මේ අතර ආරක්ෂක හමුදාවල මැදිහත්වීමෙන් දුම්රිය මගීන් 155 දෙනෙක් මුදාගැනීමට හැකිව ඇති අතර, ඒ අතරින් 15 දෙනෙක් ළමයින් බව සඳහන්.

ඔවුන් පිරිස ආරක්ෂිතව ආසන්න දුම්රියපොළක් වෙත රැගෙන විත් ඇත.

බලුකිස්තාන දේශපාලන සිරකරුවන් සහ හමුදාව අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන රැඳවාගෙන සිටින පිරිස් පැය 48ක් තුළ නිදහස් නොකළහොත්, දුම්රිය මුළුමනින්ම විනාශ කරන බවට ප්‍රහාරකයින් තර්ජනය කර තිබේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, සෑම හමුදා මෙහෙයුමකට සමගාමීව ප්‍රාණඇපකරුවන් දස දෙනා බැගින් ඝාතනය කරන බවයි.

කෙසේ නමුත් ඉතිරිව සිටින මගීන් ගණන හෝ ඔවුන්ට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණ වී නොමැත.

ප්‍රාණඇපකරුවන්ගෙන් ඇතැම් පිරිස් කඳුකර කලාපයක් වෙත රැගෙන ගොස් ඇතැයි පැවසේ.