කෝටි 4ක තහනම් උත්තේජක බොරැල්ලේ ගබඩාවක

කෝටි 4ක තහනම් උත්තේජක බොරැල්ලේ ගබඩාවක

අසාමාන්‍ය ලෙස ශරීරය වර්ධනය කරමින් අසම්මත ආකාරයට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා විවිධ ක්‍රීඩකයන් භාවිතයට ගන්නා රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමක් ඇති තහනම් උත්තේජක ගබඩාවක් බොරැල්ල, කොටා පාරේදී අත්අඩංගුවට ගැනීමට පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළඇණිය ඊයේ (16) සමත් විය.

බොරැල්ල කොටා පාරේ කායවර්ධන උපකරණ සංකීර්ණයක් තුළදී මෙම තහනම් උත්තේජක ද සමග එහි කළමනාකරු ද එම බළඇණියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

බොහෝ ක්‍රීඩකයන් සිය ශරීරය වර්ධනය කර ගැනීම සඳහා මෙම ස්ථානයට පැමිණ උත්තේජක මිලට ගන්නා බව ද එම ඒකකය සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති එංගලන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙම ජාවාරම මෙහෙයවා ඇති බව කියන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඔහු බෙල්ජියමේ සහ එක්සත් රාජධානියේ නිෂ්පාදනය කෙරෙන මෙම තහනම් උත්තේජක මෙරටට එවනු ලබන බව ද කියයි.

ශ්‍රී ලංකාවේ මෙවන් වැටලීමක් කළ ප්‍රථම වතාව මෙය බව ද එම ඒකකය සඳහන් කරයි.

මෙම බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරට ලැබුණු තොරතුරක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ විසින් මෙම වැටලීම මෙහෙයවනු ලැබීය.

ඒ අනුව, බුද්ධි අංශයේ සැරයන්වරයෙකු වන සැරයන් ජයලාල් නමැත්තා උපාය දූතයෙකු ලෙස යොදවා ඉන්ටර්නෙට් ඔස්සේ මෙම උත්තේජක අලෙවි කරන පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක රථ ගාලකදී කොටුකර ගෙන තිබේ. මෙම සැරයන්වරයා ද කායවර්ධන ක්‍රීඩාවේ යෙදෙන බැවින් ඔහු ගැන සැකයක් නොසිතූ අලෙවි නියෝජිතයා ඔහුට තහනම් උත්තේජක ලබා දෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම කර තිබේ.

පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බොරැල්ල කොටා පාරේ කායවර්ධන උපාංග අලෙවි සංකීර්ණය වැටලූ නිලධාරීන් එහි තිබූ රුපියල් කෝටි 4ක තහනම් උත්තේජක කරල් සහ එන්නත් විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

රගර් ක්‍රීඩකයන්, බර ඉසිලීමේ යෙදෙන ක්‍රීඩකයන්, මල්ලවපොර ක්‍රීඩකයන්, පාපැදි ක්‍රීඩකයන් වෙත මෙම තහනම් උත්තේජක විකුණා ඇති අතර එම ස්ථානයට දිවයිනේ නන්දෙසින් පැමිණෙන වෙළෙඳ නියෝජිතයන් හරහා මෙම උත්තේජක රට පුරා අලෙවි කර ඇතැයි වලාන ඒකකය කියයි.

මෙම උත්තේජක රුපියල් දසදහසේ සිට ඉහළ මිල ගණන්වලට විකිණෙන අතර මේවා ක්‍රීඩාවේ යෙදෙන බොහෝ පිරිස් විසින් භාවිත කර ඇති බව ද වාර්තා වේ.

ක්‍රීඩාව තුළ හෝ ක්‍රීඩාවෙන් පිටත භාවිත කිරීම තහනම් කර ඇති මම උත්තේජක බොහෝ ක්‍රීඩකයන් විසින් කෘත්‍රිම වර්ධනය සඳහා භාවිත කරන අතර මින් පසුකාලීනව නොයෙකුත් රෝග තත්ත්වයන් ඇතිවන බව ද එම බළකාය සඳහන් කරයි.

වර්ග 6ක කරල් සහ එන්නත් නිලධාරීන් සිය භාරයට ගෙන ඇති අතර රථගාලේදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වත්තල, පොලිසියට භාර දී තිබේ.

කායවර්ධන උපාංග අලෙවි මධ්‍යස්ථානය භාරව සිටි කළමනාකරු වැඩිදුර විමර්ශන සඳහා ආහාර සහ ඖෂධ පාලකයන් වෙත භාර දී ඇත.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශන ගාල්ලගේ ගේ සම්බන්ධීකරණය මත සහකාර අධ්‍යක්‍ෂ එච්.එම්. ජනක කුමාරගේ සහාය මත ආහාර සහ ඖෂධ පාලක ප්‍රධානි අමිත් පෙරේරා ඇතුළු ආහාර සහ ඖෂධ පාලකවරුන් වන මහින්ද සිරිකුමාර, කරුණාරත්න, බණ්ඩාර යන නිලධාරීන් ද මෙම වැටලීමට සහාය වී තිබේ.