ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ, ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවයි.

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය මින් පෙර නිවේදනය කළේය.

2024 සැප්තැම්බර් 19 වැනි දින ජාත්‍යන්තර ආයෝජකයින් සහ අනෙකුත් දේශීය නියෝජිත කණ්ඩායම් දෙකක් සමඟ ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවයට අනුව, 2024 නොවැම්බර් 26 දින, ශ්‍රී ලංකාව සිය නිකුත් කර තිබූ බැඳුම්කර හිමි පාර්ශව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා නිල ආරාධනයක් නිකුත් කරනු ලැබීය.

ඒ වන විට හිඟව ඇති බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වූ අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව තිබුණි.

ඒ සඳහා වූ කැබිනට් අනුමැතියද ලැබුණු බව පසුගිය 26 වැනිදා පැවැති කැබිනට් තීරණ දැම්දීමේ මාධ්‍ය හමුවෙය්දී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දැනට නිකුත් කර තිබූ බැඳුම්කර හිමි පාර්ශ්ව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා සති 3ක කාලයක් ලබා දී තිබුණි.

එහි අවසන් දිනය ලෙස පත්ව තිබුනේ ඊයේ (12) දිනයයි.

ඒ අනුව, මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය සඳහා හැකි ඉක්මනින් එක්වන ලෙස ශ්‍රි ලංකාව අදාළ බැඳුම්කර හිමියන්ගෙන් ඉල්ලීමක්ද සිදුකරනු ලැබීය.

බැඳුම්කර හිමි පාර්ශ්ව දෙකක් සමග ප්‍රතිපත්තිමය එකඟතාවක් 2024 සැප්තැම්බර් 19 වැනිදා එළැඹ තිබුණි.

ඉන් එක් පාර්ශ්වයක් ජාත්‍යන්තර බැඳුම්කර හිමි ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් සමන්විත වූ අතර අනෙක් පාර්ශ්වය දේශීය මූල්‍ය ආයතනවලින් සමන්විත වෙයි.