“සුපිරි නීල සඳක්” අද රාත්‍රියේ

“සුපිරි නීල සඳක්” අද රාත්‍රියේ

සෙනසුරු සමග ඉතා විරල සුපිරි නීල සඳක් අද (30) රාත්‍රී දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

අද දින සන්ධ්‍යාවේ පූර්ණ චන්ද්‍රයා දැකගත හැකි වුවද මෙම සුපිරි නිල් සඳ නැරඹීමට හොඳම වේලාව අද (30) දින රාත්‍රිය ගෙවී ගොස් පසුදින උදෑසන 5.00ට පමණ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

ඒ ආසන්නයේම ඉතා දීප්තිමත් සෙනසුරු ග්‍රහයා ද දැකගත හැක.

නැවතත් මෙවැනි සුපිරි නීල චන්ද්‍රයා දැකගත හැකි වනුයේ, 2037 ජනවාරි මාසයේ බව ද චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

සඳ පෘථිවියට ළං වීම නිසා ඇතිවන ගුරුත්වාකර්ෂණයේ වැඩි වීම මත වඩදිය මට්ටමේ වැඩි වීමක් ඇතිවිය හැකි නමුත් භූමි කම්පා, කුණාටු ඇතිවන බවට වන කටකතා සත්‍යයෙන් තොර බව ද මහාචාර්යවරයා පැවැසීය.

චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ඉතා ආසන්නව සිටින විට පූර්ණ චන්ද්‍රයා ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස ,අප පසුගිය කාලයේ දැක ඇති පූර්ණ චන්ද්‍රයන්ට වඩා අද දින 14% කින් විශාල වන අතර 30%ක පමණ දීප්තියකින් යුක්ත වනු ඇත.

පුර පසළොස්වක පෝය දිනවල චන්ද්‍රයාගේ ප්‍රමාණය හා දීප්තිය මාසෙකින් මාසයකට තරමක් වෙනස් වන්නේ පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂයේ ඉලිප්සාකාර හැඩය නිසාය. හෙට(31) පෙ.ව 7.05ට පෘථිවියට කි.මී 357344 ක් පමණ දුරකින් චන්ද්‍රයා පෘථිවියට සමීප වේ.

2025 නොවැම්බර් වනතුරු සඳ නැවතත් මෙතරම් සමීප නොවනු ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය. එකම මාසයක පුර පසළොස්වක සඳ දෙකක් පවතින විට දෙවන පුර පසළොස්වක පොහොය සඳ නිල් සඳ ලෙස හැඳින්වෙයි.

මෙය නමක් පමණක් වන අතර සඳ සැබැවින්ම නිල් පැහැයෙන් දිස් නොවේ.

Share This