බංග්ලාදේශයේ ගැටුම් වලින් 91ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ගැටුම් වලින් 91ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ විරෝධතා යළිත් උත්සන්න වී තිබෙනවා.

සිදුවූ ගැටුම් හමුවේ පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පවතින තත්ත්වය පාලන කිරීම සඳහා ඊයේ පස්වරු 06 සිට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට බංග්ලාදේශ බලධාරින් කටයුතු කර තිබෙනවා.

බංග්ලාදේශයේ ඩකා අගනුවරට රැස්වූ දහස් ගණනක් විරෝධතාකරුවන් එරට අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් විරෝධතා පාගමනේ නිරත වුණා.

විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසන්නේ රැකියා කෝටාවට එරෙහිව වීථි බැස විරෝධතාවය පළකර 200කට වැඩි පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට එරෙහිව දඬුවම් පැමිණවිය යුතු බවයි.

මේ අතර පාලක අවාමි ලීගයේ ක්‍රියාකාරීන් මෙම විරෝධතා වලට ප්‍රතිවිරෝධතා ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වනවා.

විරෝධතාකරුවන් ඩකා හි ෂාබාග් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලක් වන බංගබන්ධු ෂෙයික් මුජිබ් වෛද්‍ය විශ්ව විද්‍යාලයට ප්‍රහාර එල්ල කළ අතර වාහන කිහිපයකට ගිනි තබා තිබෙනවා.

ඩකා හි ප්‍රධාන මාර්ගයක් අවහිර කළ විරෝධතාකරුවන් සිය ගණනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.

විරෝධතාකරුවන් නිවාස වලට ප්‍රහාර එල්ල කරමින් ගොඩනැගිලි රැසකට ගිනි තබා ඇති බව ද වාර්තා වනවා.