දේශපාලනේ ගැන බන්දුල කලකිරෙයි

දේශපාලනේ ගැන බන්දුල කලකිරෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින පැවසීය

තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය

පාර්ලිමේන්තුව නියෝජනය සදහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසය ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදු කල බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් පැවසීය.

දේශපාලනය පිළිබඳව තමා තුළ කලකිරීමක් මතුව ඇතැයි ද මෙතෙක් තමා සමාජයට කළ මෙහෙවර සහ රටේ ආර්ථිකය සම්බන්ධව කළ ප්‍රකාශ කිසිවක් ජනාධිපතිවරණයේදී ජනතාව පිලිගෙන නැතැයි ද පවසන ඒ මහතා එවැනි පසුබිමක තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිය යුතුදැයි කියා සිතුවිල්ලක් පහළව ඇතැයිද සඳහන් කරයි.

ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම සදහාත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සමාජයට මෙහෙවර කිරීමට දේශපාලනයම අවශ්‍ය නැතැයිද චිත්‍රපට නිෂ්පාදනය වැනි කලා නිර්මාණ මගින් එය කළ හැකි බවද පැවසීය.