දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා රාජකාරි කටයුත්තක් අතර ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අනුරාධපුර රාජකාරි කටයුත්තක් වෙනුවෙන් ගොස් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඉංජිනේරු එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට පත් වන්නේ පසුගිය නොවැම්බර් මස 04 වැනිදා ය.

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මාතලේ විද්‍යා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එච්.එම්. කේ.ඩබ්ලිව් බණ්ඩාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ මොරටුව විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය.

වර්ෂ 1996 දී සහකාර දිස්ත්‍රික් ඉංජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයට බැඳුණු ඔහු වසර 27ක කාලයක් දිස්ත්‍රික් ඉංජිනේරු, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු, ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) සහ අතිරේක සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද හොබවනු ලැබීය.