බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාවේ විෂ අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හෙළිවෙයි

බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාවේ විෂ අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හෙළිවෙයි

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ඩාලි නෞකාව තුළ ටොන් 746 ක විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

අඩි 984ක් දිගින් යුතු එම නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඒ තුළ, පුපුරන ද්‍රව්‍ය සහ ලිතියම් අයන් බැටරි ඇතුළු මළකඩ කෑමට ලක්වන ද්‍රව්‍ය, ගිනිගන්නා සුළු ද්‍රව්‍ය, විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ 9 වැනි කාණ්ඩයට අයත් අන්තරායකර ද්‍රව්‍ය තිබී ඇතැයි සඳහන්ය.

අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ බහාලුම්වලින් 14ක් පැටැප්ස්කෝ ගංගාවට ඇද වැටී ඇති අතර ඒ හේතුවෙන් ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළු මතු වී තිබෙන බවයි, වාර්තා වන්නේ.

එහි අනෙකුත් බහාලුම් 4,644ක තිබූ දේ තීරණය කිරීම සඳහා තවමත් නෞකාවේ භාණ්ඩ ලේඛනය විශ්ලේෂණය කරමින් සිටින බවයි, එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසන්නේ.

බැල්ටිමෝරයට පෙර, ඩාලි නෞකාව නිව්යෝර්ක් සහ ලොව විශාලතම නාවික කඳවුර ඇති වර්ජිනියාවේ නොර්ෆොක් වෙත පැමිණ ඇති අතර එහි මීළඟ නැවතුම වී තිබුණේ කොළඹ වරායයි.

දකුණු අප්‍රිකාවේ ගුඩ් හෝප් කේප් වටා යමින්, දින 27කට පසු අලුත් අවුරුද්දෙන් පසුව ගොඩබෑමට නියමිතව තිබිණි.

Share This