අවුරුදු සමයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

අවුරුදු සමයේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

දෑත් පිටුපසට බැඳ දිවීම ඇතුලු ඊට සමාන ක්‍රීඩා අවුරුදු උත්සව වලට ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවුරුදු සමයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිරෝෂා රණසිංහ මහත්මිය මේ බව ප්‍රකාශ කර සිටියේ.

වෛද්‍යවරිය එහිදී කියා සිටියේ, දෑත් බැඳ දිවීම වැනි ක්‍රියා නිසා බිම ඇද වැටී ස්ථීර දත් කැඩී යෑමෙන් රෝහල් ගත වන සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතින බවයි.

අනතුරකින් ස්ථීර දතක් ගැලවී ගියහොත් නැවත එය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළා.

එවැනි අනතුරක් සිදු වුවහොත් කැඩී ගිය දත අයිස්වල දමා රැගෙන ඒම කිසිසේත් සිදු නොකළ යුතු අතර කාමර උෂ්ණත්වයේ ඇති කිරි වීදුරුවක හෝ සේලයින් ද්‍රාවණයක බහා ළඟම රෝහලට රැගෙන යාම ‍යම්තාක් දුරකට සාර්ථක ක්‍රමයක් බවයි වෛද්‍යවරිය පවසන්නේ.

එසේම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සහ අනතුරු අවම වන ආකාරයේ තරග මෙවැනි උත්සව කාලවලදී පැවැත්වීමට සංවිධායකවරුන් හැකි පමණින් කටයුතු කරන ලෙසට ද වෛද්‍යවරිය එහිදී විශේෂයෙන් ඉල්ලා සිටියා.

මේ අතර, අවුරුදු සමයේ සිදුකරන ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව අක්ෂි ශෛල්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ, ගිනිකෙළි භාවිතය සඳහා කුඩා දරුවන්ට ඉඩ ලබා නොදෙන ලෙසය.

ගිනිකෙළි නිසා සිදුවන අනතුරුවලින් 46%ක් අත් සහ ඇඟිලිවලට සිදුවන හානි බවත් 17% ක් ඇස්වලට හා මුහුණට හානි සිදුවන බවයි, අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක පෙන්වා දෙන්නේ.

මෙම අනතුරුවලින් මුහුණ පිළිස්සීම, අහේ කළු ඉඟිරියාවට හානි සිදුවීම හා කම්පන තරංග නිසා ඇහේ අභ්‍යන්තරයට හානි සිදුවන බවයි, වෛද්‍යවරයා පවසන්නේ.