ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි අයෙක් ඝාතනයට ලක්වෙයි

ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි අයෙක් ඝාතනයට ලක්වෙයි

ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි දෙමළ වැසියෙකු වවුනියාව සීන්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක ඝාතනය කර තිබියදී ඊයේ (26) පස්වරුවේ සොයාගත් බව කනගරායන්කුලම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, වව්නියාව, නෙඩුන්කේනි, වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි සෙල්ලදුරෙයි නිමලනාදන් නමැති පුද්ගලයෙකු බවයි, පොලීසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා ස්ටිස්ටර්ලන්තයේ පදිංචිව සිට ඇති අතර, ටික කලකට පෙර තමන්ගේ උපන්ගම වන වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයට පැමිණ ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

පසුගිය 25 වැනිදා, ඔහු වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික උත්සවයකට සහභාගි වීමට තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ සිටියදී සවස් කාලයේ සාදයක් සදහා ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ආරාධනයක් ලැබී ඇත.

ඔහු එහි ගොස් තවත් කිප දෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ යම් සිද්ධියක් මත යකඩ පොල්ලකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

සාදයට ගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඒ සම්බන්ධයෙන් ඥාතීන් විසින් කනගරායන්කුලම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය සිදුකළ සෝදිසියකදී මළ සිරුර හමු වී තිබේ.

අනතුරුව පොලිසිය එම නිවසේ ජීවත් වූ 60 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි මියගිය පුද්ගලයාගේ මුදල්, ස්වර්ණාභරණ හා දේපල කොල්ල කෑම සඳහා මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි, පොලිසිය සැක කරන්නේ.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ වවුනියාව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ (26) සවස පැවැත්වු අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකෙරිණ.

සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.