කෝටි 12ක දේපළ ගැන පරීක්ෂණ නොකරන්නැයි ඩුබායි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හඩා වැටෙයි

කෝටි 12ක දේපළ ගැන පරීක්ෂණ නොකරන්නැයි ඩුබායි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හඩා වැටෙයි

ඩුබායි රාජයේ සිට සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා සුඛෝභෝගී ටොයොටා හැරියර් වර්ගයේ මෝටර් රථයත් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 347 මිලිගෑම් 200 ක් පොලිස් භාරයට ගෙන ඇත. මොරගහේන ප්‍රදේශයේ සුවිසල් තෙමහල් නිවසක් තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම බලකායේ බුද්ධි අංශ නිලධාරීන් වන උපපොලිස් පරීක්ෂක සඳරුවන් සහ පොලිස් සැරයන් (428) ජයලාල් නිලධාරියා යොදවා රහසිගතව තොරතුරු පරික්ෂාවකින් අනාවරණය කර ගත් තොරතුරු අනුව “යුක්තිය” මෙහෙයුමට සමගාමීව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වැටලීම කළ බව පොලිසිය කියයි

මීට වසර කිහිපයකට ඉහතදී පොලිස් වෙඩි පහරින් මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “රත්මලානේ රොහා” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමේ නායකයෙකු වශයෙන් නම් දරා සිටින සනා නොහොත් දිනේෂ් පෙරේරා යන මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන සැකකරු මොරගහහේන කෝරල ඉම තේවත්ත පාර සුවිසල් තෙමහල් නිවසකදි හොරයින් මත්කුඩු මිලිගෑම් 8200 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

එම සැකකරු ඩුබායි හී සිටින සනා නැමැත්තාගේ මස්සිනා බව පොලිසිය කියයි. වැටලීම කල පොලිස් නිලධාරීන් සුඛෝභෝගී නිවස තුළ රැඳී සිටින අවස්ථාවේදී ඩුබායි රාජ්‍යයේ සිට රෝමින් තාක්ෂණය ඔස්සේ නිවසට දුරකථන ඇමතුමක් ලබාගෙන ට වැටලීම සිදු නොකරන ලෙසත් රුපියල් කෝටි 10 අධික වටිනාකමින් යුතු නිවස සහ කෝටි 2 අධික වටිනාකමින් යුතු මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශනය නොකරන ලෙස ඩුබායි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන “සනා” හඬා වැලපෙමින් ආයචනා කළ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සිය මස්සිනා වන සනා නැමැත්තා විසින් ලබා දෙන ලද මත්ද්‍රව්‍ය කොහුවල කළුබෝවිල භාතිය මාවතේ නිවසක පුද්ගලයකුට සඟවා තබා ගැනීමට ලබා දුන් බවට අනාවරණය කළ තොරතුරු අනුව එම නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 339 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

කෝරළේම නිවසේදී අත්අඩංගුවට ගත් සැකකරු මොරගහහේන පොලිසියේද කළුබෝවිලදී අත්අඩංගුවට ගත් සැකකරු කොහුවල පොලිසියේද දින හතක කාලයක් රඳවාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය

පොලිස් භාරයට ගත් සුඛෝභෝගී මෝටර් රථය සහ සැකකරු පදිංචිව සිටි කෝරළ ඉම තෙමහල් සුවිසල් නිවස සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරන පනත යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව පොලිසිය සඳහන් කරයි