සූක්ෂම ලෙස ඉතාලියට පනින්න හැදූ සිරියානු ජාතිකයන් 7ක් කටුනායකදී අත්අඩංගුවට

සූක්ෂම ලෙස ඉතාලියට පනින්න හැදූ සිරියානු ජාතිකයන් 7ක් කටුනායකදී අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සිරියාවේ වාසය කළ වැඩිහිටියන් තිදෙනකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුල් දෙකක්.

ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළ විගමන කවුළු වෙත පැමිණ තිබූ අතර එහිදී සේවය කළ ආගමන විගමන නිලධාරීන්ට ඇති වූ සැකය මත මොවුන් ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබෙනවා.

ඉන්පසුව මෙම සිරියානු ජාතිකයන්ගෙන් සිදු ප්‍රශ්න කිරීම් වලදී තමන් මෙම ගමන් බලපත්‍ර එකක් ඇමෙරිකානු ඩොලර් 2,000 බැගින් තැරැව්කරුවෙකු වෙත ගෙවා තුර්කියේ දී සකස් කර ගත් බවයි අනාවරණය කර ගෙන ඇත්තේ.

මෙම ගමන් බලපත්‍ර පරිලෝකන යන්ත්‍ර ( Scaner Test ) , ඉලෙක්ට්‍රොනික් ගේට්ටු ( Electronic Gates ) වැනි නවීනතම පරීක්ෂා කිරීම් වලදී ද හසු නොවන ආකාරයට , අධිතාක්ෂණික චිපයන් යොදා සකස් කර තිබුණා.

මෙවැනි අධිතාක්ෂණික ගමන් බලපත්‍ර , මුල් අවස්ථාවේ දීම හදුනා ගැනීම , ඉහළ වෘත්තීය පළපුරුද්ද සහිත කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කරන ආගමන විගමන නිලධාරීන්ට හැකි වීම ඔවුන්ගේ උසස් වෘත්තීය පරිනතභාවයට නිදසුනක්.
මෙම සිරියානු ජාතිකයන් පිරිස මුළින්ම මැලේසියාව වෙත පැමිණ එතැනින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන්පසුව ඔවුන් ඉන්දියාවට ගොස් එතැනින් ඉතාලිය වෙත පළා යාමට සැළසුම් කර තිබූ බව ආගමන විගමන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .

මෙම අත් අඩංගුවට ගැනීම සහ ඒ පිළිබඳ විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන වයි.ඒ.එස්.ඩී.යාපා සහ ඩී.එස්.ඒ.දෙහිවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත ආගමන විගමන නිලධාරී ඩබ්ලිව්.ඒ. ඩී .එන්.අරවින්ද යන මහත්වරුන් විසින් සිදු කර තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගත් මෙම සිරියානු ජාතිකයන් පිරිස මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.