මවගේ අනියම් සැමියා සමග එක්ව අක්කා නගෝ දෙදෙනා රියැලිටි තරුවකගේ ලක්ෂ 50කට විදලා

මවගේ අනියම් සැමියා සමග එක්ව අක්කා නගෝ දෙදෙනා රියැලිටි තරුවකගේ ලක්ෂ 50කට විදලා

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෞද්ගලික දුරකතන සමාගමකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම්පත් මඟින් රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට අන්තර්ජාලයෙන් අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ 50ක මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මඟින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු ඇතුළු තිදෙනකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් එවැනිම ආකාරයෙන් රුපියල් කෝටි 03කට අධික මුදලක් රෝගීන් 11 දෙනෙකුගෙන් වංචා කර ඇති බවද, පරිගණක අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (07) කරුණු වාර්තා කළේය.

මෙම සැකකරුවන් අන්තර්ජාලය මඟින් මෙය සිදු කර ඇත්තේ අහිංසක රෝගීන්ට ලැබෙන පරිත්‍යාග කොල්ලකමින් ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල අපරාධයක් බව අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.

ලියුකේමියා රෝගයෙන් පෙළෙන රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් සොරාගත් බව කියන සිද්ධිය ඊයේ (07) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ඊයේ (07) අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔවුන් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කඩවත ප්‍රදේශයේ පදිංචි ‍සෙව්වන්දි මධුෂානි පෙරේරා (22) සහ ස්වේතා නෙත්මිණී පෙරේරා (19) යන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ජනක ප්‍රසාද් නමැත්තකුය.

ජනක ප්‍රසාද් නමැති ප්‍රධාන සැකකරු දෙවැනි සහ තෙවැනි සැකකාරියන් දෙදෙනාගේ මවගේ අනියම් සැමියා බවත් ඔහු මෙම අපරාධවලට කාන්තාවන් දෙදෙනා යොදවාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුවන් පැමිණිල්ලට අදාළ ගායකයාගේ ගිණුමෙන් මුදල් ලබාගෙන ඒවා විවිධ බැංකු ගිණුම්වලට සහ ෆිනෑන්ස් සමාගම්වලට යොමු කර ඇති අතර රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් කර ඇපල් වර්ගයේ ජංගම දුරකතන පවා ලබාගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පිළිකා රෝගීන් මෙන්ම ලියුකේමියා රෝගීන්ට සැත්කම් සඳහා මුදල් ඉල්ලා මුහුණුපොතේ ඇති දැන්වීම් රාශියකට දුරකතනයෙන් ඇමතුම් ලබාගෙන ඇති මොවුන් මේ ආකාරයෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචනිකව සොරාගෙන ඇති බවත් ඔවුන් එම මුදල් වියදම් කළ ආකාරයක් මෙතෙක් සොයාගත නොහැකි වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

පළමු සැකකරු සහ සැකකාරියන් දෙදෙනා ඔවුන්ගේ බාලවයස්කාර දරුවන් ද රැගෙන පෞද්ගලික දුරකතන සමාගමට ගොස් මෙම වංචාව කිහිප වතාවක්ම සිදු කර ඇත්තේ ව්‍යාජව සකසාගත් ලිපි ශීර්ෂ ද ඇතැතිව බවත් ඒ සඳහා ඔවුන්ගේ මව ද ඔවුන් සමඟ ගොස් වරදට ආධාර අනුබල දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙහි ප්‍රධාන සැකකරු ස්ත්‍රී දූෂණ ඇතුළු කොල්ලකෑම් රැසකට අදාළව පවතින නඩු 25කට අධික ප්‍රමාණයක් ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවුන් රෝගීන් 11 දෙනකුගෙන් මෙවැනි ආකාරයෙන් අන්තර්ජාල මුදල් කොල්ලකෑම් සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයන් නිවැරදිකරුවන් බවය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

Share This