කහවත්තේ මව ඝාතනයට බාල දුව අත්අඩංගුවට

කහවත්තේ මව ඝාතනයට බාල දුව අත්අඩංගුවට

ගුවන් විදුලි නිවේදකයකු මෙන්ම මාධ්‍යවේදියකු වන ජානක සුනෙත් බණ්ඩාරගේ මෑණියන් කහවත්ත වැල්ලඳුර නිවසක දී ඝාතනයට ලක් වීමේ සිද්ධියට සැකපිට ඇගේ බාල දියණිය අද අළුයම 3.30 ටපමණ (16) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසිය පවසයි.

පසුගිය 13 දා වැල්ලඳුර වෙලේවත්ත පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ විනීතා ජයසුන්දර නැමති හැත්තෑ එක් හැවිරිදි කාන්තාව සිය නිවස පිටුපස ගෙල කපා මරා දමා තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය ට ලක්වූ මවගේ බාල දියණිය වන තිස්අට හැවිරිදි අවිවාහක තරුණියකි.

ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස ⁣සේවය කරයි.

මියගිය කාන්තාව ගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා දරුවන් හා ඥාතීන් පොලීසියට කැඳවා සාක්ෂි සටහන් කරනු ලැබීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් දියණිය තම මව නිවස තුළ දී ගෙල කපා මරා පැය කිහිපයක ට පසුව නිවස පිටුපස ගෙන ගොස් දැමූ බවට පොලීසිය සැක කරයි.

පසුව නිවස තුළ විසිර තිබූ ලේ පැල්ලම් සියල්ල ඉවත්වන සේ සම්පූර්ණයෙන් ම ගෙබිම සෝදා පිරිසිදු කර ඇතැයි පොලිසිය කියයි. පරීක්ෂණ කටයුතු නොමග යැවීම සඳහා එසේ කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ඝාතනය සිදු කිරීමෙන් පසුව පෙරවරු 11.40 සිය සේවා ස්ථානයට වාර්තා කර පස්වරු 3.40 ට නැවත කාර්යාලයේ සිට නැවත නිවසට පැමිණෙන්නට ඇති බවට ද පොලීසියට බලවත් සැකයක් මකුවී ඇතැයි පොලීසිය පවසයි.

එදින පස්වරු 3.50 ට පමණ නිවස ට පැමිණ ඇති සැකකාරිය තම මවට කරදරයක් සිදුව ඇති බවට කෑ ගසන විට අසල්වැසියන් කිහිප දෙනෙකු නිවසට පැමිණ තිබේ.

ඒ අතර කහවත්ත පොලීසිය වෙත ද මව මරාදමා ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය විසිනි.අසල්වාසීන් විසින් බිම ඇද වැටී සිටි කාන්තාව රෝහලට ගෙන යාමට සැරසෙන විටත් අදාල කාන්තාව මියගොස් සිටි බව ට පොලීසිය වෙත සාක්ෂි ලැබි ඇත.

මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරිය ගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත් රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී ද පොලිස් නිළ සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලීසිය කියයි.

මෙම ඝාතනය ට අදාල ව අනාවරණය වූ කරුණු මත පදනම් ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනීයන හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පවසයි.

Share This