රුපියල් කෝටියකට අධික ෆෝන් සහ ලැප්ටොප් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික ෆෝන් සහ ලැප්ටොප් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා ” අයි පෝන් ” වර්ගයේ ජංගම දුරකථන 36 ක් සහ ලැප්ටොප් පරිගණක 06 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්අත්අඩංගුවට ගෙන තිබේ .

මොවුන් කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 – 45 අතර පසුවන ව්‍යාපාරිකයන් තිදෙනෙකි .

එසේ පැමිණි ඔවුන් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , ඔවුන්ගේ ගමන් මලු තුළ සගවා ගෙන තිබූ මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගය අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව ඔවුන් තිදෙනා රැගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

එහිදී විධිමත් රේගු පරීක්ෂණය සිදු කර මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගය රාජසන්තක කර , මොවුන් තිදෙනාට රුපියල් ලක්ෂ 16 ක දඩ මුදලක් ගෙවන ලෙස ද පරීක්ෂණ පැවැත් වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබේ.