කාන්තාවන්ගේ පස්ස වීඩියෝ කළ අනංගයා අල්ලයි

කාන්තාවන්ගේ පස්ස වීඩියෝ කළ අනංගයා අල්ලයි

මහනුවර නගරයේ ගමන් කරන තරුණ කාන්තාවන් පිටුපස යමින් ඔවුන්ගේ උකුලෙන් පහළ ප්‍රදේශය වීඩියෝ ගත කරමින් ඡායාරූප ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (06) පෙරවරුවේ සිවිල් ඇඳුමෙන් සැරසී රාජකාරී කරමින් සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු තරුණ කාන්තාවන් පිටුපස යමින් කිසියම් සැකකටයුතු යමක් සිදු කරන බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව දීර්ඝ වේලාවක් ඔහු නිරීක්ෂණය කර මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලදී ඔහු නවත්වා ප්‍රශ්න කර තිබේ.

ඉන් අනතුරුව ඔහු අත තිබූ නවීන ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී මහනුවර නගරයේ ගමන් කරමින් සිටි කාන්තාවන්ගේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප 19 ක් එහි අන්තර්ගතව තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.

මහනුවර ජාතික රෝහලේ සනීපාරක්ෂක සේවකයෙකු වශයෙන් කටයුතු කරන තිස් හැවිරිදි එම පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එය ඔහු විසින් ලබාගත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප බවට පිළිගෙන තිබේ.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.