යුද හමුදා ට්‍රක් රථයේ ගැටී ත්‍රීරෝද රථය පොඩිපට්ටම් වෙයි – රියදුරු මරුට

යුද හමුදා ට්‍රක් රථයේ ගැටී ත්‍රීරෝද රථය පොඩිපට්ටම් වෙයි – රියදුරු මරුට

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බැකෝ යන්ත්‍රයක් පටවාගෙන යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් යුදහමුදා සෙබළකු සමග තවත් පුද්ගලයකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

යුදහමුදා ට්‍රක් රථයේ ගැටුන ත්‍රීරෝද රථය ට්‍රක් රථය සමඟ පල්ලමේ ඇදී ගොස් මාර්ගය අසල තාප්පයක ගැටී නතර වී ඇති අතර, ත්‍රීරෝද රථ රියදුරු ට්‍රක් රථයට සහ තාප්පයක ගැටී සිරවී මියගොස් සිටියදී යුදහමුදා නිලධාරීන්, පොලීසිය, බදුල්ල මහ නගර සභා ගිනිනිවීම් ඒකකයේ නිලධාරීන් එක්වී මහත් පරිශ්‍රමයක් දරා පැය දෙකකට පමණ පසුව ඉවතට ගත් බවද පොලීසිය කීය.

බදුල්ල තල්දෙන පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්. එම්. අමල් ඉදුනිල් දේශප්‍රිය (26) නැමති තරුණයකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගිය බව පොලිසිය පැවසීය.

අනතුරින් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයකු සහ යුදහමුදා ට්‍රක් රථය පැදවූ යුදහමුදා සෙබළා තුවාල ලබා සිටින බවත්, පොලිසිය පවසයි.

දියතලාව යුදහමුදා කදවුරේ සිට බැකෝයන්ත්‍රයක් පටවා ගෙන පොලොන්නරුව බලා යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක් බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී හදිසි කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, ඒ සමගම පල්ලමේ වේගයෙන් ඇදී යමින් තිබූ යුදහමුදා ට්‍රක් රථය එහි රියදුරු වංගුව අසලදී නවතා ගැනීමට උත්සහ කිරීමේදී ඉදිරියෙන් බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක ගැටී පසුව තල්දෙන සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය.