රජයේ රෝහල්වල සේවයට යුද හමුදා භට පිරිස්

රජයේ රෝහල්වල සේවයට යුද හමුදා භට පිරිස්

සුළු සේවක වර්ජන හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අඩාල වන සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීම සදහා යුද හමුදා භට පිරිස් යොදවා තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවකයන් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් අඩාලවන රෝහල් කටයුතු බාධාවකින් තොරව යථා තත්ත්වයට පත්කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කළ ඉල්ලීමකට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, මහනුවර ශික්‍ෂණ රෝහල, පේරාදෙණිය ශික්‍ෂණ රෝහල සහ ගම්පොල මූලික රෝහල යන රෝහල් සඳහා, 111 පාබල බලසේනාව, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් යොදවා ඇති බවයි, යුද හමුදාව නිවේදනය කළේ.

එමෙන්ම, කොළඹ ජාතික රෝහල , කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, කුරුණෑගල ශික්ෂණ රෝහල, මාතර බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, මීරිගම යන රෝහල්වල දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හමුදා භට පිරිස් යොදවා තිබේ.

මේවන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ 500 කට ආසන්න භට පිරිස් ප්‍රමාණයක් යොදවා ඇත.

හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භට පිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍යය සියලුම පියවර ගන්නා ලෙසත් යුද හමුදාධිපතිවරයා, ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

Share This