ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වෙයි

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වෙයි

ඉදිරි වසර 05ක ධූර කාලය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 09 වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත්වී තිබේ.

ඒ ඊයේ (21) පැවැති ජනාධිපතිවරණයෙන් සමස්ත දිවයිනෙන්ම ඡන්ද හා මනාප 5,740,179 ක් ලබා ගෙන ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස පරාජයට පත් කරමින්.

ඒ අනුව ඔහු හෙට (23) උදෑසන වැඩ භාරගැනීමට නියමිතය.

අනුර කුමාර දිසානායක මහතා 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය.

ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය.

දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් විය.

සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන ඔහු උසස් පෙළ හැදැරීම සඳහා ඇතුළත්වන්නේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය.

එහිදී විද්‍යා – ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වන්නේ, 1992 දීය.

1987දී පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ අනුර සරසවි භූමිය තුළ ද කැපීපෙනෙන දේශපාලන චරිතයක් බවට පත්වෙයි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනගන අනුර සරසවි සිසුන් අතර ආකර්ෂණය දිනාගත්තේ ”අරවින්ද” යන නාමයෙනි.

එපමණක් නොව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද හොබවනු ලබයි.

අනුර කුමාර දිසානායක සිය උසස් අධ්‍යාපනය නිමකරමින් 1995 දී විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ, විද්‍යාවේදී උපාධිධාරියෙකු වශයෙනි.

අනුරගේ දේශපාලන ගමන් මඟ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්විය.

ඉන් වසරකට පසු එනම් 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුලත් වීමට අනුර කුමාරට වරම් හිමිවෙයි.

ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2000 වසරේදීය.

ඒ එම වසරේ පැවැති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙනි.

ඔහු යළි 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ද ලබා ගනිමින්.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අතර දශක දෙකක කාලයක් මෙරට පාර්ලිමේන්තු දේශපාලනයේ අත්දැකීම් ඇති අයෙකි.

2001 වසරේ දී බිහි වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ඔහුයි.