ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය එලිසබෙත් කැත්රින්
අමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන එලිසබෙත් කැත්රින් හොස්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය වශයෙන් නම්කර තිබේ.
වර්තමාන අමෙරිකානු තානාපතිනී ජුලී චැන්ග් මහත්මියගේ නිල කාලය අවසන්වීමෙන් පුරප්පාඩු වන එම ධූරය වෙනුවෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හොස්ට් මහත්මිය නම්කර තිබෙන අතර අදාළ පත්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ එකඟතාව ලබාදී තිබෙන බව ද වාර්තා වෙයි.
දැනට ඒ මහත්මිය පාකිස්තානයේ නියෝජ්‍ය සහකාර ලේකම්වරිය වශයෙන් කටයුතු කරන අතර ජර්මනියේ අමෙරිකානු තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශිකාව වශයෙන් ද සේවය කර ඇත.
ඒ මහත්මිය අමෙරිකානු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියක් වන අතර මීට පෙර රාජ්‍ය තාන්ත්‍රික තනතුරු රැසක කටයුතු කර ඇත.
එස්ටෝනියාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබෙන එලිසබෙත් කැත්රින් හොස්ට් මහත්මිය යුක්රේනය, ඇෆ්ගනිස්තානය, රුසියාව, ටජිකිස්තානය සහ පාකිස්තානය යන රටවල අමෙරිකානු දූත මණ්ඩලවල ද සේවය කර තිබේ.
මේ අතර වර්තමාන අමෙරිකානු තානාපතිනී ජුලී චැන්ග් මහත්මිය 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය වශයෙන් වැඩ බාරගත් අතර ශ්‍රී ලංකා – එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඒ මහත්මිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළාය.
මෑතකදී ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික සහ දේශපාලන අර්බුදය අවසන් කොට ස්ථාවර රටක් නිර්මාණය කිරීමෙහිලා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ ජුලී චැන්ග් මහත්මිය ඒ වෙනුවෙන් අමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ද ගත්තාය.