ගිලන් රථ රියදුරෙක් වෛද්‍යවරියක පැහැරගෙන යන්න හදලා

ගිලන් රථ රියදුරෙක් වෛද්‍යවරියක පැහැරගෙන යන්න හදලා

ගිලන් රථයක රියදුරෙක් විසින් වවුනියාව මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් ඊයේ (26) රාත්‍රියේ දී බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේදී වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

මෙම වෛද්‍යවරිය වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ නේවාසිකව සිටින වෛද්‍යවරියකි.

ඇය සේවය සදහා වවුනියාව මහ රෝහලට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී වවුනියාව මහ රෝහලේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට රාත්‍රී ආහාරය රැගෙන ගිය ගිලන් රථය ආපසු වවුනියාව මහ රෝහලට පැමිණෙමින් තිබූ නිසා ඇය රෝහලට පැමිණීම සඳහා එම ගිලන් රථයට ගොඩ වී තිබේ.

ගිලන් රථයේ රියදුරා හා තවත් අයෙකු ගිලන් රථයේ සිට ඇති අතර රියදුරා වවුනියාව -මන්නාරම මාර්ගයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට ගිලන් රථය නවත්වා ආපසු එය වවුනියාව මහ රෝහලට ධාවනය කිරීම වෙනුවට අතුරු මාර්ගයකින් වෙනත් දිශාවකට ධාවනය කරන්නට පටන් ගෙන තිබේ.

ඊට හේතුව විමසුවත් රියදුරා කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා බියට පත් වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැන තමාව බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කල බව මහමග සිටි පිරිසට ප්‍රකාශ කොට තිබේ.

ජනතාව වෙනත් වාහනයකින් ගිලන් රථය හඹා ගොස් එය නතර කරවා රියදුරුට හා සහායකයාට පහර දී ඔවුන්ව මෙල්ල කර නෙලුකුලම පොලීසිය වෙත බාර දී තිබේ.

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් එම ස්ථානයට ගොස් ඇති අතර පොලීසිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ගිලන් රථ රියදුරා හා සහායකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කොට ඇත.

එම වෛද්‍යවරිය පැහැර ගැනීමට උත්සහ කළ රියදුරා සිටි ගිලන් රථයද වවුනියාව මහ රෝහලට අයත් ගිලන් රථයක් බැවින් රියදුරුට හා රිය සහායකයාට එරෙහිව වෙනම පරීක්ෂණයක් වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය විසින් ආරම්භ කොට තිබේ.

එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වවුනියාවේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට දුර කි.මී 16 ක් වූවත් එක් ගමන් වාරයක් සදහා මෙම රියදුරා කි.මී. 20 ක දුරක් සටහන් කොට ඉතිරි වන ඉන්ධන අලෙවි කරන බවයි.

දිනකට ගමන් වාර 6 ක් මෙම ගිලන් රථය වවුනියාව මහ රෝහල හා පම්පමඩුව ආයුර්වේද රෝහල අතර ධාවනය කිරීම සිදුවන බැවින් ගිලන් රථ රියදුරා මෙම ඉන්ධන වංචාව කාලයක සිට කරගෙන ගොස් ඇති බවද හෙළි වී ඇත.

වවුනියාව මහ රෝහලෙන් ගිය වෛද්‍යවරු පිරිස බියට පත්ව සිටි වෛද්‍යවරිය වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් තිබේ.