කැනඩාවේදී ලාංකික සරසවි සිසුවෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

කැනඩාවේදී ලාංකික සරසවි සිසුවෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

අධ්‍යයන කටයුතු සඳහා කැනඩාවට ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය 28 හැවිරිදි එම්.එච්. විනෝජ් යසංග ජයසුන්දරගේ දේහය ඊයේ (11) මත්තේගොඩ, නඳුන් උයනේ පිහිටි නිවසට ගෙනවිත් තිබුණි.

මරණයට හේතුව වී ඇත්තේ වෑන්කුවර් නගරයේ දී බීමත් රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය පැදවීමයි.

මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකර ගෙන ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ, මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගැනීමට ගොස් සිටිය අදාළ තරුණයා පසුගිය ජූනි 22 වනදා අනතුරට මුහුණ පා ඇත.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකරගත් සිසුවෙකි. විනෝජ් තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය ද එංගලන්තයේ දී නීතිවේදී උපාධිය ද හිමිකර ගෙන තිබේ.

ඔහු මියයන විට කැලිෆෝනියාවේ ඇපල් සමාගමේ ද සේවය කරමින් සිට ඇති අතර අනතුරට මුහුණ පා ඇත්තේ අමෙරිකාවේ මේරිලෑන්ඩ් සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය.

ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් භාරදීම සඳහා කැනඩාවේ වෑන්කුවර් නගරයට ගොස් යළි නවාතැන් පොළට එන අතරතුර විදුලි සංඥා පුවරුවක් අසල මෝටර් රථය නවතා තිබිය දී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් විනෝජ්ගේ මෝටර් රථය පිටුපසින් හප්පා ඇතැයි වාර්තා වේ.