බස් – වෑන් ගැටී බිහිසුණු අනතුරක්

බස් – වෑන් ගැටී බිහිසුණු අනතුරක්

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටී අද (11) උදැසන සිදු වු රිය අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙක් බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අද උදැසන 7.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලබා ගිනිගත්හේන රෝහල වෙත ඇතුළත් කෙරුණු දෙදෙනාගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වෑන් රථයකුයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ පෞද්ගලික බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පසු වෑන් රථය තුල සිර වී සිටි රියදුරා සහ ඉදිරිපස අසුනේ සිටි තවත් අයෙකු බස් රථයේ ගමන් ගත් මගීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථයෙන් ඉවතට ගෙන රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරෙන් බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, ප්‍රදේශයේ පවතින වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසත් ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Share This