තායිලන්තයේ පතායා නුවර වීදි පුරා සිංහ පැටවකු අනාරක්ෂිතව රැගෙන යාම ගැන ශ්‍රී ලාංකිකයෙකුට චෝදනා

තායිලන්තයේ පතායා නුවර වීදි පුරා සිංහ පැටවකු අනාරක්ෂිතව රැගෙන යාම ගැන ශ්‍රී ලාංකිකයෙකුට චෝදනා

හොඳින් වැඩුණු සිංහ පැටවකු ප්‍රදර්ශනය කරමින් තායිලන්තයේ පතායා සංචාරක පුරවරයේ වීදි පුරා මෝටර් රථයක් ධාවනය කිරීමෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් වූ බවට චෝදනා ලැබූ සිංහ පැටවාගේ හිමිකාරිනිය බව කියන එරට කාන්තාවක් තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

වහලය රහිත convertible Bentley වර්ගයේ මෝටර් රථයකින් එම සිංහ පැටවා ප්‍රදර්ශනය කරමින් රිය පදවා ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන ඇගේ මිතුරකු බවත්, ඔහු මේ වන විට අතුරුදන් වී ඇති බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

තායිලන්ත පොලිසිය මේ වන විට අදාළ ශ්‍රී ලාංකිකයා සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, ඔහුට මාස 6ක සිර දඬුවම් සහ අමෙරිකානු ඩොලර් 1,400ක දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇතැයිද වාර්තා වේ.

සවන්ජිට් කොසූන්ග්නර්න් නමැති සිංහ පැටවාගේ හිමිකාරිනියට ද එම දඬුවම හිමිවීමට ඉඩ ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

එසේ වුවද එරට ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාව සිංහ පැටවකු ළඟ තබා ගැනීමට නීත්‍යනුකූල අවසර ලබා සිටි බවය.

එම සිංහ පැටවා චොන්බූරි ප්‍රාන්තයේ පතායා නුවර සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා රැගෙන යෑමට අවසර ඉල්ලා තිබූ බවත්, මේ සිදුවීම වාර්තා වන විට එම අනුමැතිය ලබා දී නොතිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.