කතරගම ආන්දෝලනාත්මක මන්දිරයට කිරි වෙහෙරේ සම්බන්ධයක් නැහැ – කිරිවෙහෙර විහාරාධිපති හිමි

කතරගම ආන්දෝලනාත්මක මන්දිරයට කිරි වෙහෙරේ සම්බන්ධයක් නැහැ – කිරිවෙහෙර විහාරාධිපති හිමි

කතරගම, මැණික් ගංතෙර පිහිටා තිබෙන ආන්දෝලනාත්මක මන්දිරිය සම්බන්ධයෙන් කිරිවෙහෙරේ වර්තමාන සම්බන්ධයක් නොමැති බව එම විහාරස්ථානයේ වත්මන් භාරකාරත්වය උසුලන කොබවක ධම්මානන්ද හිමියෝ පවසති.

කිරි වෙහෙරේ හිටපු, අපවත්වී වදාල නායක ස්වාමීන් වහන්සේ සිටින සමයේ මෙම ඉදිකිරීම් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වර්තමානයේ තමන් වහන්සේ කිසිවක් දැනගෙන සිටියේ නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

අදාළ මන්දිරය සම්බන්ධව කිරිවෙහෙර විහාරස්ථානයේ හිටපු නායක ස්වාමීන් වහන්සේ සිටින සමයේ සම්බන්ධතාවයක් තිබුණේද නැද්ද යන්න පිලිබඳ තමන් වහන්සේ නොදන්නා බවත් 2013 වර්ෂයේ තමන් කිරිවෙහෙරට පැමිණි බවත් උන්වහන්සේ
පැවසූහ.

එසේම, එම මන්දිරයේ ඉදිකිරීම් කටයුතු 2006 වර්ෂයේ සිදුකර ඇති බවත් එබැවින් තමන් වහන්සේට ඒ සම්බන්ධයෙන් වගකීමක් ගත නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

එමෙන්ම, පසුගිය දිනෙක එම මන්දිරයේ යතුරු කිහිපයක් තමන්ට භාරදී තිබූ බව පැවසූ උන්වහන්සේ ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ද පැවසීය.

එම ආන්දෝලනාත්මක මන්දිරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට පැමිණ දීර්ඝ ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොබවක ධම්මානන්ද හිමියෝ මේ බව පැවසීය.

මේ අතර, ඊයේ දිනයේ දී මෙම කරුණට අදාලව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රුහුණු කතරගම බස්නායක නිළමේ, ඩිෂාන් ගුණසේකර පවසා සිටියේ, අදාල මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කිරිවෙහෙර විහාරස්ථානයේ හිටපු නායක ස්ථවිරයන් වහන්සේ විසින් ඉදිකළ එකක් බවයි.