ලක්ෂ 90ක නීතිවිරෝධී දුම්වැටි පිට කිරීමට තැත්කළ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට

ලක්ෂ 90ක නීතිවිරෝධී දුම්වැටි පිට කිරීමට තැත්කළ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට

රුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රේගු නිලධාරීවරයෙකු ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති තිදෙනාම ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයකි.

මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ ප්‍රධන ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකවරයා ඊයේ උදෑසන 08.45 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී රේගු නිලධාරීවරයා සිය රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර ගුවන් තොටුපොළ තුළට පිවිස, මෙම දුම්වැටි තොගය, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීවරයෙකු පැවසීය.

එසේම මොවුන් විසින් ගමන් මලු 05 ක් රැගෙන විත් තිබූ අතර, ඒවා තුළ විදේශීය නිෂ්පාදිත ”මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 60,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 300 ක් සගවා ගෙන තිබූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය අද දින නීතිවිරෝධී ආනයනය, ජාවාරම් කිරිම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.