
හිටපු ජනපති මහින්දගේ විජේරාම නිල නිවස අලුත් වැඩියා වියදම ලක්ෂ 4212යි – ව්‍යාපෘතියේදී නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කර නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම නිල නිවස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේදී මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත සහ වෙබ් අඩවිය සවිස්තරාත්මක හෙළිදරව්වක් සිදුකර තිබේ.
මෙම නිල නිවසේ නවීකරණ කටයුතු සිදු කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ රජයේ ආයතනයක් වන සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවටයි.
මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලැබී නොමැති අතර, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම මගින් ඩේලි මිරර් පුවත්පත ඉල්ලා සිටින තොරතුරු නිකුත් කරන ලෙස කොන්ත්‍රාත්කරු වන ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට කරන ලද දැඩි නියෝගයක් මත මෙම තොරතුරු පුවත්පත වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පුවත්පත මෙම වාර්තාව පළ කර තිබෙන්නේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගන්නා ලද තොරතුරු මත පදනම්ව යි.
ඒ අනුව මෙම නිල නිවසේ නවීකරණ කටයුතු සදහා රුපියල් ලක්ෂ 4212 කට ආසන්න මුදලක් වැය කර තිබෙන බවයි පුවත්පත සඳහන් කරන්නේ.
මෙම අති විශාල මුදලෙන් වැඩි ප්‍රමාණයක් වැය කර තිබෙන්නේ මගී සෝපානය, ආලෝකකරණ, ආලෝකකරණ පාලන පද්ධතිය, විදුලි ස්ථාපනය, නාන කාමර උපාංග, සම්මන්ත්රණ / අර්ථකථන / බහුමාධ්‍ය සහ PA පද්ධති, VRF වර්ගයේ වායු සමීකරණ පද්ධතිය, වානේ වහලය, අධි සහ අඩු පීඩන ගෑස් මාර්ග, දත්ත /WiFi පද්ධතිය යනාදිය වැනි නොයෙකුත් දෑ මිල දී ගැනීම වෙනුවෙනි.
මෙම එකදු මිල දී ගැනීමක දී හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති අතර, මෙම ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී ඒ සදහා මිල කැදවීමක් සිදුකර නොමැති බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ අගමැති කාර්යාලයේ ලුතිනන් කමාන්ඩර් W.I.E. අරවින්ද යන අය විසින් තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් මේවා මිලදී ගෙන ඇති බවත් ඩේලි මිරර් වෙබ් අඩවිය පවසයි.
ඒ අනුව සෘජුවම, තෝරා ගත් සැපයුම්කරුවන්ට අදාල ඇණැවුම් ලබා දෙන ලෙස සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ඉහළින් බලපෑම් එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.
මිල ගණන් කැදවීමකින් තොරව ඉතා ඉහළ වටිනාකමින් යුතු මෙම උපාංග මිලදී ගැනීම අනුමත කළ නොහැකි බව, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ඇතැම් නිළධාරීන් පවසා තිබුන ද, එම විරෝධය නොතකා හැර ඇති බවයි වාර්තා වන්නේ.
නිල නිවසේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කළ නාවික හමුදා ඉන්ජිනේරුවරයා සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අදාල උපකරණ මිලදී ගත යුතු සැපයුම්කරුවන්ගේ නාම ලේඛනය ඔවුන්ගේ දුරකථන අංක ද සමග ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබා දී ඇති බවයි පුවත්පත ට වාර්තා වී තිබෙන්නේ.
කෙසේ වෙතත්, ලුතිනන් කමාන්ඩර් අරවින්ද විසින් මෙම සැපයුම්කරුවන්ගේ නම් තෝරාගෙන ඇත්තේ කාගේ උපදෙස් මතද යන්න ගැටළුවක් වී තිබේ.
එමෙන්ම එවකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙත කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මෙම ව්‍යාපෘතිය සඳහා ද්‍රව්‍ය මිලදී ගැනීම සහ සේවා ලබා ගැනීම ආරම්භ කර ඇති ආකාරය ද මවිතයට කරුණකි.
මෙම මිලදී ගැනීම් වලදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකළ බවට හෙළිවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාණිජ අංශය පවසා ඇත්තේ ඔවුන් අලෙවිකරුවන්ට කෙටි පණිවුඩ යවා ඔවුන්ගෙන් මිල ගණන් ලබා ගත් නමුත් “පර්චසින් ඕඩර්” ප්‍රකාශයට පත් කර මිල ගණන් කැඳවූයේ නැති බවයි.
COVID වසංගතය උච්චතම අවස්ථාවේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, පුවත්පත් දැන්වීම් හරහා මිල ගණන් කැඳවූ නමුත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කෙටි පණිවුඩ යවා මිල ගණන් ලබාගෙන අඩුම ලංසුකරු තෝරා ගත් බවයි වාණිජ කළමනාකරු අසේල සහබන්දු මහතා පවසා තිබෙන්නේ.
කෙසේ වෙතත්, මෙම සියලු මිලදී ගැනීම් සිදු කර ඇත්තේ 2020 දී COVID වසංගතය උච්චතම අවස්ථාවේදී නොව, 2021 දී අගුලු දැමීමේ කාලය අවසන් වීමෙන් පසුව බවයි මූලාශ්‍ර වලින් අනාවරණය වී තිබෙන්නේ.
තවද විජේරාම මාවතේ නිවසේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට ඉල්ලීමක් තිබුණද, අරමුදල් නොමැතිකම හේතුවෙන් එය පසුව අවලංගු කරන ලද බවත් පැවසේ.
නිල නිවස නවීකරණය කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සේවය ද ලබාගෙන ඇති අතර, එම වගකීම භාර දී තිබෙන ගෘහ නිර්මාණ ශිල්පියා වන චාමික ශමල් ද අල්විස්ගේ නම යෝජනා කර තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ බවටත් චෝදනා එල්ල වී ඇති බවයි ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන්නේ. (සාමාන්‍ය ක්‍රම වේදය වන්නේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් ගෘහ නිර්මාණ ශිල්පියෙකු තෝරා ගැනීම බව පැවසේ.)
2021 ඔක්තෝබර් මාසයේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙතින් වාස්තු විද්‍යාත්මක සහ අභ්‍යන්තර සැලසුම් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණද, මෙම තේරීම 2021 ජනවාරි මාසයේදී සිදු කර තිබේ,
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙහි අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පීන් හෝ අභ්‍යන්තර නිර්මාණකරුවන් නොමැති බැවින් සුදුසු පාර්ශවයන්ගෙන් මිල ගණන් කැඳවීමකින් තොරව, නඩත්තු ඉංජිනේරුවරයාගේ නියෝග සහ සාමාන්‍යාධිකාරීවරයාගේ නියෝග මත, සුදුසු පාර්ශවයන්ගෙන් මිල ගණන් කැඳවීමකින් තොරව, මානව සම්පත් කළමනාකරුගේ අනුදැනුමකින් තොරව තෝරාගත් පුද්ගලයාට ලිපියක් යවා ඇති බවයි පැවසෙන්නේ.
පත්වීමක් සිදු කරන විට, ලිපිය මානව සම්පත් කළමනාකරු විසින් අත්සන් කළ යුතුය, නමුත් මෙම අවස්ථාවේදී, 2021 ජනවාරි 18 වන දින මෙම ලිපිය නිකුත් කළේ සාමාන්‍යාධිකාරීවරයා විසින් බවට ද චෝදනා එල්ල වී තිබේ.
තවද මෙම නිවසේ නවීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය සිමෙන්ති සහ වැලි වැනි ද්‍රව්‍ය සදහා වන ඇනැවුම් ඉරිදා සහ වෙනත් නිවාඩු දින වල දී ද ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලැබී තිබේ.
එවිට අදාල ඇනවුම් සදහා “පර්චසින් ඕඩර්” ලබා දීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන්, එම ද්‍රව්‍ය, විජේරාම නිල නිවසේ නවීකරණ කටයුතු සදහා යොදා ගත්තාද, නැතිනම්, කොහේ හෝ වෙනත් වැඩබිමකට රැගෙන ගියාද යන්න තහවුරු කළ නොහැකි බව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නිළධාරීන් පුවත්පත සමග පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම පුවත්පත සතුව ඇති ලේඛන වල පිටපත් වලට අනුව,මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 421.93 ක් (සැබෑ පිරිවැය රු. 421, 930, 701.56) වැය කර තිබේ.
නාන කාමර උපාංග සඳහා රුපියල් මිලියන 15.415 ක් වැය කර ඇති අතර ආලෝකකරණ පාලන පද්ධති සඳහා රුපියල් මිලියන 16.807 ක් වැය කර ඇත.
විජේරාම නිවස සඳහා කළුගල් අතුරා ගැනීම සඳහා රුපියල් මිලියන 15.874 ක් සහ ගෘහ නිර්මාණ හා භූමි අලංකරණ සැලසුම් සඳහා රුපියල් මිලියන 10 ක් වැය කර තිබේ.
ආලෝකකරණය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12.488 ක් වැය කර ඇති අතර මෙම ව්‍යාපෘතියේ විදුලි වැඩ සඳහා රුපියල් මිලියන 31.595 ක් වැය කර ඇති අතර ප්‍රතිසංස්කරණය කරන ලද පරිශ්‍රය සඳහා දත්ත/දුරකථන සහ Wi-Fi පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 2.357 ක් වැය කර ඇත.
කිරිගරුඬ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය රු. මිලියන 4.5 ක් වූ අතර, සමජාතීය මුද්‍රණ ටයිල් සඳහා තවත් රුපියල් 4.680 ක් වැය කර ඇති අතර දැවමය බිම් සඳහා රුපියල් මිලියන 21.271ක් වැය වී තිබේ
ඉහත සඳහන් වුනු වියදම් වලට අමතරව කළුගල් සඳහා තවත් රුපියල් මිලියන 4.801 ක් වැය කර ඇත.
සම්මන්ත්රණ/ අර්ථකථන/ PA සහ බහු මාධ්‍ය පද්ධති ස්ථාපනය කිරීම සඳහා දරන ලද පිරිවැය රුපියල් මිලියන 16.312 කි.
VRF වර්ගයේ වායු සමීකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 44.874 ක් වැය කර ඇත. මගී සෝපානය සඳහා රුපියල් මිලියන 15.093 ක් වැය කර ඇත.
විජේරාම නිල නිවස සඳහා නම්‍යශීලී සිවිලිම සඳහා දරන ලද පිරිවැය රුපියල් මිලියන 37.345 ක්, වානේ වහලය සඳහා රුපියල් මිලියන 32.760 ක්, ජල ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 1.336 ක්, අධි සහ අඩු පීඩන ගෑස් මාර්ගයක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 3.923 ක්, පීඩන බූස්ටර් පද්ධතිය සඳහා රුපියල් මිලියන 4.361 ක් සහ සූර්ය ජල තාපන පද්ධතිය සඳහා රුපියල් මිලියන 1.012 ක් වැය කර ඇති බවයි ඩේලි මිරර් වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.