අනුරාධපුර වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි

අනුරාධපුර වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කිරීමේ සිදුවීමට අදාළ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (12) උදෑසන ගල්නෑව පොලිස් බල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පැවසීය.

සැකකරු වෛද්‍යවරියගෙන් සොරා ගත් ජංගම දුරකථනය ඔස්සේ සිදුකළ පරීක්ෂාවකින් පසු අත්අඩංගුවට ගනු ලැබූ බවයි, පොලිසිය පැවසුවේ.

ඔහු මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස් වී පැමිණි ඇත්තේ, සිද්ධියට පෙර දින බව පොලිසිය පවසයි.

සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.

අද උදෑසන පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද සැකකරු අත්අඩංගුවට ගත් බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.