අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව

අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව

වෛද්‍යවරියක දූෂණයට ලක්කිරීමේ සිදුවීම මුල්කරගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (12) දහවල් අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රෝහල ඉදිරිපිට වෛද්‍යවරු, හෙද හෙදියන් සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව විරෝධතා පාගමනක් ද පැවැත්වුහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, වෛද්‍ය සසික විජේනායක මහතා පවසා සිටියේ, සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් පමණින් මෙම අරගලය නොනවතින බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලට පැමිණ සිදුකළ සොයා බැලීම සාර්ථක මට්ටමේ පැවතුන ද මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදුනොවන බවට නිශ්චිත සහතිකයක් රජයෙන් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

එනිසා වින්දිතයා අත්අඩංගුවට ගත් පමණින් වෘත්තීය ක්‍රියාමාර්ගය නවත්වන්නේ නැති බවත්, හෙට (13) දිනයේ දී ආණ්ඩුකාරවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවත් වෛද්‍ය සසික විජේනායක මහතා පැවසීය.

“ඉතා පැහැදිලියි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට මෙම වැඩවර්ජනය පටන් ගත්තේ අදාළ වින්දිතයා අත්අඩංගුවට ගැනීම සඳහා නෙමෙයි.

මෙවැනි සිදුවීමක් වළක්වා ගැනීමට බැරිවුණ රෝහල් පරිපාලනය සහ අදාළ නගර පරිපාලනයේ අකාර්යක්ෂමතාවයන් සඳහා නිශ්චිත පිළිතුරු ලැබෙන තුරු අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට මෙම විරෝධතා ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරගෙන යනවා.”