
ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ මගියෙක් අල්ලයි
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් ගුවන් තොටුපොළ පොලීසිය මගින් අද (12) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවය හිමි කන්දයියා තුරේසිංහම් නැමති 65 හැවිරිදි අයෙකි.
මොහු අද 12.45 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, අධික ලෙස විස්කි මත්පැන් පානය කර තිබේ.
ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මගීන්ට කරදර වන ආකාරයට හැසිරීමට පටන් ගෙන ඇති අතර පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කිරිමට ද ඔහු තැත් කර තිබේ.
පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහුව මැඩ පවත්වා තිබූ අතර, මෙම සිදුවීම පිළිබදව ගුවන් නියමුවා දැනුවත් කිරිමට ද පියවර ගෙන තිබේ.
ඒ අනුව, මේ පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට ගුවන් නියමුවා කටයුතු කර තිබුණි.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ පසුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් ගුවන් තොටුපොළ පොලීසිය සමග පැමිණ මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් මගියා පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබූ අතර, එහිදී මොහු මත්පැන් පානය කර ඇති බවට කරුණු සනාථ වී තිබේ.
ඒ අනුව, මොහු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.