වකුගඩු සැත්කමින් මියගිය දරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව නිකුත් වෙයි

වකුගඩු සැත්කමින් මියගිය දරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව නිකුත් වෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් කෙරුණු දරුවෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන තීන්දුව අද (11) ප්‍රකාශයට පත්කෙරුණා.

කොටහේන ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි හම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) ප්‍රකාශයට පත් කළා.

එක් වකුගඩුවක් සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අකර්මන්‍ය වී ඇති වූ කම්පනය හේතුවෙන් දරුවාගේ මරණ සිදුව ඇති බවයි, එම තීන්දුවේ සඳහන් වූයේ.

ඒ අනුව, මෙම දරුවාගේ මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවී ඇති බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

තම දරුවා වකුගඩු සැත්කමක් සිදුකරීමෙන් අනතුරුව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් ඔහු මියගිය බව පවසමින් දරුවාගේ දෙමව්පියන් විසින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරුණා.