උසස් පෙළ සිසුන්ට පහර දෙන ටියුෂන් ගුරා අත්අඩංගුවට ගන්න විමර්ශන

උසස් පෙළ සිසුන්ට පහර දෙන ටියුෂන් ගුරා අත්අඩංගුවට ගන්න විමර්ශන

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන වීඩියෝවට අදාළ සිසුන්ට පහර දෙන උසස්පෙළ උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය සඳහන් කළේ අදාළ ගුරුවරයාට අද (11) දින පස්වරු 2.00ට එම අධිකාරිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු නොපැමිණි බවයි.

ඒ, අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ද සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවා.

නුගේගොඩ, ගම්පහ ආදී ප්‍රදේශවල ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විෂය උගන්වන මෙම පෞද්ගලික පන්ති ගුරුවරයා සිය පන්තිවල ළමයින්ට වේවැල් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වේ.

එක් වීඩියෝවකින් දැක්වෙන්නේ ගැහැනු ළමයකුගේ ජංගම දුරකථනයක් ලබාගත් පිරිමි ළමයෙකුට එම ගැහැනු ළමයා යොදවා වේවැල් පහර දෙන ආකාරයයි.

මෙම ගුරුවරයාගෙන් පහර කෑමට ලක්වූ වින්දිතයන් කවුරුන්දැයි යන්න සම්බන්ධව සොයා බැලෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි.

ළමයින් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18 ට අඩු පිරිස් බවත්, උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය හදාරන ඇතැම් සිසුන් වයස අවුරුදු 19 සම්පූර්ණ කර තිබීම නිසා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු තත්ත්වයක් පවතින බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක කියා සිටියාය.