අභිනව අමරපුර මහානිකායේ මහානායක නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

අභිනව අමරපුර මහානිකායේ මහානායක නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු කෙරුනා.

ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය.

සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ත්‍රෛනිකායික සංඝරත්නයේ වැඩමවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

වර්ෂ 1948 දී මාතර කඹුරුපිටිය ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ අතිපූජ්‍ය කරගොඩ, උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමියන් වර්ෂ 1962 දී අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමියන් වෙතින් ප්‍රවෘජ්ජාව ලබා උතුම් පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

කොළඹ මරදාන මහාබෝධි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් සිටින අවධියේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය පුත්‍රයෙකු බවට පත් වූ උන්වහන්සේ දියතලාව සුධර්මාලංකාර පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ.

පසුව ප්‍රාචීණ මධ්‍යම විභාගය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සමත් වූ උන් වහන්සේ 1971 දී පේරාදෙණිය සරසවියට ඇතුළත්ව දර්ශනය පිළිබඳව විශේෂවේදී උපාධිය ලබා ගත්තේ පන්ති සාමාර්ථයක් ද සමගින්.

පසුව එම විශ්ව විද්‍යාලයේම කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම ලද උන් වහන්සේ එහි භික්ෂු සංගමයේ සභාපති තනතුර ද හෙබවීය.