
15 හැවිරිදි දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ තිදරු පියෙකුට ලැබුණු දඬුවම
මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ 15 හැවිරිදි බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 12 ක සිර දඬුවම් නියම කර තිබේ.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 25,000ක දඩයක්ද නියම කෙරිණි.
අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර එකහමාරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් නියෝග කළේය.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් සරීබ් නැමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස දඬුවම් නියම විය.
බාල වයස්කාර දරුවන් වහල් වෙෙළඳාමට නතු කොට ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම බරපතළ වරදක් බවත් එය මනුෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් බවත් තීන්දුව දෙමින් විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශයට පත් කළේය.
සිය දරුවන්ගේ මෙන්ම අනෙකුත් දරුවන්ගේ ද ආරක්ෂාව හා සුභසාධනය සහතික කිරීම වැඩිහිටියන්ගේ වගකීම යැයි පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරු එම වගකීම පැහැර හැර තිබෙන බවටත් චෝදනා කළේය.
අගතියට පත් දැරිය විදේශගත වී මාස දෙකක් තුළ ඇය සේවය කළ නිවැසියන්ගේ වද හිංසාවලට පාත්‍ර වී තිබෙන බවත් පසුව ඇය මෙරටට පැමිණි බවත් පෙන්වා දුන් විනිසුරුවරයා ඇය යළි මෙරටට නොපැමිණියේ නම් මැද පෙරදිග දී ජීවිතය අහිමි කරගත් රිසානා දැරියට අත් වූ ඉරණම මෙම දැරියට ද අත්වීමට ඉඩ තිබූ බවත් සඳහන් කළේය.
2008 වසරේ යළි දිවයිනට පැමිණි මෙම දැරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව විත්තිකරුට එරෙහිව මෙම අධි චෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් වන්නේ වසර නවයක් ගත වීමෙන් පසුව බවත් මෙම නඩු තීන්දුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා සිය තීන්දුව තුළින් වැඩිදුරටත් නියෝග කළේය.