
ඝාතනය කළ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් වත්තල නිවසකින් හමුවෙයි
අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් හැඳල – වත්තල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයාගෙන තිබෙනවා.
පසුගිය පෙබරවාරි 27 වැනිදා උදෑසන 9.45 ට පමණ වත්තල පොලිසියට දුරකථන ඇමතුමක් හරහා පුද්ගලයෙකු දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශයේ අධික දුර්ගන්ධයක් පවතින බවත් එම නිවසෙහි අයිතිකරු දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති බවයි.
පැමිණිලි කළ පුද්ගලයා සඳහන් කර තිබෙන්නේ, සැකකටයුතු යමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම දුරකථන ඇමතුම ලබා දුන් බවයි.
පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ වත්තල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් මෙම සැක සහිත නිවස ස්ථානීය පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
එහිදී නිවසේ හිමිකරු දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට මූලික කරුණු අනාවරණය වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මරණකරු විවාහක පුද්ගලයකු වන අතර ඔහු දරුවන් තිදෙනකුගේ පියෙක් වනවා.
මෙම පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තාව රාගම රෝහල විසින් පසුගිය මාර්තු පළමුවනදා වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමු කර තිබුණු අතර, එහි සඳහන්ව ඇත්තේ ගෙල පෙදෙසට තියුණු ආයුධයකින් ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.
එමෙන්ම එම පුද්ගලයා පසුගිය පෙබරවාරි 19 වනදින මියගොස් ඇති බවත් පොලිසිය දැනුවත් වන තුරුම එනම් පෙබරවාරි 27 වනදා දක්වා මළ සිරුර ඒ ආකාරයෙන්ම නිවස තුළ තිබී ඇති බවටත් තහවුරු වී තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ සැකයට තුඩු දුන් පළමු කාරණාව වී ඇත්තේ මියගිය පුද්ගලයා ඔහු මියගොස් සිටි ඇඳ අසල තිබූ දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ ආකාරයෙන්ම ජීවිතක්ෂයට පත්ව තිබීමයි.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසු ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවසෙහි වූ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමට සූදානම් වුවද ඒ වනවිටත් එම නිවසෙහි සවි කර තිබූ ආරක්ෂක කැමරා සහ DVR උපකරණය අස්ථානගත වී ඇති බවට නිරීක්‍ෂණය වී තිබෙනවා.
මෙම නිවස ආවරණය වන පරිදි වෙනත් නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන මගින් එම මරණය සිදුවූ බවට සැක කෙරෙන ඉකුත් පෙබරවාරි 19 වැනිදා මෙම නිවසට පැමිණි ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් වත්තල පොලිසිය කරුණු අනාවරණය කරගනු ලැබුවා.
එම ත්‍රීරෝද රථය හඳුනාගෙන එහි හිමිකරුගෙන් ප්‍රකාශයක් ගෙන ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ තම පුත්‍රයා විසින් කරපිංචා කැඩීම සඳහා මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති බවයි.
ත්‍රීරෝද රථ හිමිකරුගේ පුත්‍රයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ ඉන් අනතුරුවයි.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ එදින ඔහු කරපිංචා සහ පොල් මිලදීගැනීම සඳහා එම නිවසට පැමිණි බවත් සාමාන්‍ය පුරුද්දක් වශයෙන් ඔහු එම නිවසට කරපිංචා සහ පොල් මිලදීගැනීම සඳහා පැමිණෙන බවයි.
නමුත් එදින ඔහු මියගිය පුද්ගලයාගේ නිවසට ගොස් ඇත්තේ ලහිරු නම් පුද්ගලයෙකුගේ දැනුම්දීම මත බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශය අනුව මිළඟ සැකකරු වශයෙන් හඳුනාගත් ලහිරු නමැත්තා අත්අඩංගුවට ගැනීමට වත්තල පොලීසිය කටයුතු කළද ඔහු ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
මියගිය පුද්ගලයාගේ සහ මෙම සැකකරුගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමෙන් අනතුරුව දුරකතන වාර්තාවලින් පැහැදිලි වී ඇත්තේ මියගිය පුද්ගලයා පෙබරවාරි 19 වැනිදා රාත්‍රී 8 වෙන තෙක් ජීවතුන් අතර සිට ඇති බවයි.
ඔහු ඒ දක්වාම වට්ස්ඇප් යෙදවුම තුළ සක්‍රීයව සිට ඇති බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.
සැකකාර ලහිරු නමැත්තා සොයා දීර්ඝ විමර්ශන සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (02) සවස 5.00 ට පමණ සැකකරු වත්තල ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වුණා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී පාපොච්චාරණය කර ඇත්තේ රන්භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණින් මෙම මරණය තමා විසින් සිදු කළ බවටයි.
සැකකරු ව්සින් නිවසෙහි සව්කර තිබූ ආරක්ෂක කැමරා (CCTV), DVR උපකරණය සහ මියගිය පුද්ගලයාගේ ජංගම දූරකතනයද කැළෑබද ප්‍රදේශයකට විසි කොට තිබෙනවා.
සැකකරුගේ ප්‍රකාශ අනුව යමින් පොලිස් නිලධාරීන් විසින් මෙම කොටස් සොයාගෙන ඇති බව සඳහන් වනවා.
22 හැවිරිදි මෙම සැකකරු, වත්තල ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක්.
ඔහු සහ මෙම මියගිය පුද්ගලයා අතර ටික කලක සිට සම්බන්ධතාවයක් තිබී ඇති අතර ඔහුද කරපිංචා සහ පොල් කැඩීමට නිතර මෙම නිවසට පැමිණි බවටද ප්‍රකාශ කර තිබෙනවා.
සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර දේපළ සොරා කෑම, අපරාධයක් වසන් කිරීම යන චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් මෙම මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වත්තල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.