
අද රාත්‍රිය වන විට පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වීමේ අවදානමක්?
ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කුමන ප්‍රකාශ කළද අද (04) රාත්‍රී වන විට පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා අද (03) පෙරවරුවේ පැවසීය.
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් මේ වන විට උද්ගතවී ඇති තත්වයට මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් භාරදීමෙන් පසුව කුසුම් සන්දනායක මහතා එසේ පැවසීය.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් 200 ක පමණ පිරිසක් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට අසළට අද පෙරවරුවේ පැමිණි අතර එහිදී ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙක් වන ධර්මසිරි ගමගේ මහතා ලේකම් කාර්යාලයෙන් පිටත පැමිණ ලිපිය භාරගත්තේය.
ජනාධිපතිතුමා බෙදුම්කරුවන් පිළිබඳව අවදානය යොමුකර බෙදුම්කරුවන්ගෙන් වරදක් වී තිබේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් එසේ නොවේ නම් බෙදුම්කරුවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
ඉන්ධන බෙදුම්කරුවන් ආණ්ඩුව හෝ ජනතාව හෝ අපහසුතාවට පත්කිරීමට ක්‍රියාකරන කොටසක් නොවන බව කී කුසුම් සන්දනායක මහතා ඉන්ධන පිරවුම්හල් 1400 ක් පමණ නියෝජනය කරන එම සංගමයේ සාමාජිකයන් දේශපාලනයෙන් තොරව ව්‍යාපාර කරන පිරිසක් බව ද සඳහන් කළේය.
ජනාධිපතිතුමා මෙම ගැටලුව විසඳීමට කමිටුවක් පත්කර සාධාරණ විසඳුමක් දෙනුඇතැයි විශ්වාස කරන බවත් සාධාරණ විසඳුමක් නොලැබුණ හොත් මෙම ව්‍යාපාරය අතහැර දැමීමට සිදුවන බවත් පැවසීය.
ඉන්ධන පිරවුම්හල් සේවා මුර දෙකක් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම නිසා ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ්පත් ගණුදෙනු සහ රාත්‍රී සේවාවන් අත්හිටුවීමට සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.