තෙල් බෙදුම්කරුවන් සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වන්නැයි CIDයට පැමිණිල්ලක්

තෙල් බෙදුම්කරුවන් සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වන්නැයි CIDයට පැමිණිල්ලක්

ජනතාව පීඩාවට පත් කරමින් අනීතික ලෙස කොමිස් මුදල් එක්රැස් කළ තෙල් බෙදුම්කරුවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂනයක් පවත්වන්නැයි ඉල්ලා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

බෙදුම්කරුවන් 1,400ක පිරිසකට මහජනතාවට අයත් රුපියල් බිලියන 37ක මුදලක් අනීතිකව බෙදා ගැනීමට දී ඇති බවට ජාතික විගණන කාර්යාලයෙන් හා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව උසාවි තීන්දු පවා දී ඇති බව අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය පවසනවා.

එසේ තිබියදී තෙල් බෙදාහැරීම අඩාල කිරීමට ක්‍රියා කරන බවට චෝදනා කරමිනුයි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ.

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම මෙන්ම අධිකරණ තීන්දුවට එරෙහිව යමින් මෙතරම් විශාල මුදලක් බෙදුම්කරුවන්ට ලබාදීමේ තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ඉල්ලා සිටිනවා.

එම රුපියල් බිලියන 37ක මුදල රජයට නැවෙත ලබාගෙන ජනතාවට දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

වසරකට ඔවුන් කොමිස් මුදල් ලෙස එක් බෙදුම්කරුවෙකු දෙකෝටි හැටලක්ෂයක මුදලක් උපයා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙය පොදු දේපල පනතට අනුව ජනතාවට අයත් මුදල් ව්‍යාපාරිකයින් අතලොස්සක් අතර කූඨ ලෙස අයුතු ලාභයක් ලබාගෙන ඇති බවයි එහි සභාපති කාමන්ත තුෂාර පවසන්නේ.