සම්භාහනයෙන් ලෝකයෙන්ම දෙවැනි තැන දිනූ ප්‍රනීත් ලසන්ත දිවයිනට

සම්භාහනයෙන් ලෝකයෙන්ම දෙවැනි තැන දිනූ ප්‍රනීත් ලසන්ත දිවයිනට

තායිලන්තයේ පැවති 2025 – ලෝක සම්භාහන තරගාවලියට (Universal Massage Championship – 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රනීත් ලසන්ත එම තරගාවලියේ දී අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

මෙලෙස සම්භාහන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට සම්මානයක් හිමිවූ පළමු අවස්ථාව මෙය වන අතර එම ජයග්‍රහණය මෙරටට අත්කර දුන් ප්‍රනීත් ලසන්ත ඊයේ (02) දිවයිනට පැමිණියේය.

ලෝක සම්භාහන ෆෙඩරේෂනය (World Massage Federation) මගින් සංවිධානය කළ මෙම තරගාවලිය තායිලන්තයේ චියන් රායි (Chiang Rai) නුවර ඉකුත් 26 දින සිට 28 දින දක්වා ලෝකයේ රටවල් 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනකුගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට මෙම තරගාවලියට සහභාගී වූ ප්‍රනීත් ලසන්ත, එහි ස්පා ඇන්ඩ් වෙල්නස් (Spa and Wellness) ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගනිමින්, ශ්‍රී ලංකාවට පළමු වරට ලෝක සම්භාහන තරගාවලියක දී රිදී පදක්කමක් දිනා දීමට සමත් වී තිබුණි.

මෙම පදක්කම දිනාගත් ලසන්ත ඊයේ රාත්‍රී 10.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට, එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔහු පිළිගැනීමට මෙම ක්ෂේත්‍රයේ හිතවතුන් පිරිසක් ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.