
ප්‍රවීණ කලා ශිල්පී වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු අනිද්දා
ප්‍රවීණ වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා (01) සිදුකිරීමට නියමිතව ඇත.
කළක සිට රෝගාතුරව සිටි ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (27) රාත්‍රියේ අභාවප්‍රාප්තවන විට 65 වැනි වියේ පසුවිය.
එක්දරු පියෙකුවන වසන්ත විට්ටච්චි, 1978 වසරේදී ‘අත් ‘වේදිකා නාට්‍යයෙන් කලා ක්ෂේත්‍රයට පිවිස ඇත.
ඔහු ලාංකේය සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනේම යුග ගණනාවක අත්දැකීම් සම්භාරයක් හිමි කලාකරුවෙකි.
පරාක්‍රම නිරිඇල්ලගේ සිරිමැදුර චිත්‍රපටයෙන් මෙරට සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඔහු ගුරු ගෙදර, කෙළි මඩල, මාරුතය, සුදු සෙවනැලි, සිහින දේශය, අන්තිම රැය, කතුරු මිතුරු, සිකුරු හතේ වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නේය.
විට්ටච්චි මහතාගේ දේහය අද (27) පස්වරු 6ට ඔහු පදිංචිව සිටි අංක 488/A, පොල්පිතිමූකලාන, කඳාන යන ලිපිනයේ ඇති ඔහුගේ නිවසට රැගෙන යන අතර අනිද්දා පෙරවරු 8 සිට පස්වරු 3.30 දක්වා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙනු ඇති.
අවසන් කටයුතු අනිද්දා පස්වරු 04.00ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.