පාහියංගල ගල්ලෙනෙන් හමුවූ අස්ථි සැකිල්ල ගැන ගත් තීරණය

පාහියංගල ගල්ලෙනෙන් හමුවූ අස්ථි සැකිල්ල ගැන ගත් තීරණය

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙනක් ලෙස ප්‍රකටව ඇති පාහියංගල ගල්ලෙනෙහි සිදුකළ පර්යේෂණ කැනීමෙන් සොයාගත් අස්ථි කොටස්වලින් එකලස් කරන ලද සැකිල්ල නිසි පරිදි සංරක්ෂණය කඩිනම් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡාවක් අද (20) අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදීයි.

එම අස්ථි සැකිල්ල මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කායව්‍යච්ඡේද අධ්‍යයනාංශයේ තබා ඇති අතර වැඩිදුර විධිමත් ආරක්ෂණ ක්‍රියාමාර්ග සැලසීමෙන් අනතුරුව එය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ද එම කටයුතු වලින් අනතුරුව ඉදිරි කාලයේදී අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට ද මෙහිදී යෝජනා විය.

මෙම සාකච්ඡාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී ආචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, ආචාර්ය ඔෂාන් වෙදගේ, ව්‍යුහ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එස්. සී යසවර්ධන, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ටී කස්තුරිආරච්චි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් සහ කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී අධිකාරී ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියා.