ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබා දීම සඳහාත්, දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම සඳහාත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතා වලට ගැලපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට හැකි වී නොමැත.

එකී පනත් කෙටුම්පත නැවත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.