
ලැගුම් හලකදී 63 හැවිරිදි පෙම්වතියගේ රන් මාලය සහ ෆෝන් එකට විද්ද 42 පෙම්වතා අත්අඩංගුවට
නිවසේ මෙහෙකාර සේවය කළ 63 හැවිරිදි කාන්තාවක රවටා හෝටල් කාමරයකට කැටුව ගොස් රන්මාලය සහ ජංගම දුරකථනය සහිත අත්බෑගය සොරකම් කළ 42 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.
පැමිණිලිකාර කාන්තාව කළුතර ප්‍රදේශයේ පදිංචි කාරියක බවත් ඇය කොළඹ ප්‍රදේශයේ නිවසක මෙහෙකාර කමට ගොස් දෛනිකව දුම්රියෙන් නිවස කරා යමින් සිටියදී එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි සැකකරුව හදුනාගෙන දෙදෙනා පෙම්වතුන් වී ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු පසුගිය දිනක පැමිණිලිකාර කාන්තාව පානදුර දුම්රිය ස්ථානයෙන් බස්සවාගෙන පානදුර මුහුදු වෙරළ ආසන්නයේ කාමරයකට කැටුව ගොස් පැය කිහිපයක් එහි රැදී සිටීමෙන් පසු ඇය නාන කාමරයට ගිය අතරවාරයේ දී අත්බෑගය ද රැගෙන පලා ගොස් ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.
ඒ අනුව නවාතැන් පොලෙන් සැකකරුගේ විස්තර ලබාගෙන මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රුපියල් 140,000 ක උකස් කර තිබූ රන්මාලයද, ජංගම දුරකථනය ද සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මුලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.