ගණේමුල්ලේ සංජීව ඝාතනය කරලා තියෙන්නේ කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකට!

ගණේමුල්ලේ සංජීව ඝාතනය කරලා තියෙන්නේ කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකට!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතන කිරීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩුබායිහි සැඟව සිටින මනුදිනු පත්මසිරි පෙරේරා හෙවත් කෙසෙල්බද්දර පද්මේගේ උපදෙස් මත සිදුකර ඇති බවට හෙළි වී තිබේ.

ඒ රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකටයි.

කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් හරහා ඝාතකයා වෙත ලබා දී ඇති එම කොන්ත්‍රාත්තුවෙන් ඝාතකයාට ලැබී ඇත්තේ, රුපියල් ලක්ෂ 02ක අත්තිකාරම් මුදලක් පමණක් බවද විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

වෙඩිතැබීම සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මුහුදු මාර්ගයෙන් රටින් පලායාමට සැලසුම් කර වෑන් රථයකින් පළායමින් සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) පස්වරුවේ අත්ඩංගුවට ගෙන තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි හෙවත් කමාන්ඩෝ සමිඳු නමැති 28 හැවිරිදි අයෙකු බවටයි, දැනට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔහු මූලික පුහුණුවෙන් අනතුරුව යුද හමුදාවෙන් පළාගිය අයෙකු බවත් ඔහු කමාන්ඩෝ සෙබළෙකු හෝ බුද්ධි නිලධාරියෙකු නොවන බවද යුද හමුදා ආරංචි මාර්ග පැවසීය.

යුද හමුදා ⁣පුහුණුව අතරතුර පළාගිය සැකකරු පසුව පොදුසමා කාලය යටතේ යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන් පසුව ඔහු පුහුණු කුලී වෙඩික්කරුවෙකු ලෙස අන්වර්ථ නම් රැසකින් පෙනී සිටිමින් සංජීව ඝාතනය ඇතුළු ඝාතන 6ක් සිදුකර ඇති බවටයි, දැනට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, අදාළ වෙඩික්කරු ඉකුත් මස 7වනදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරු බව ද පොලීසිය පැවසීය.

ඔහු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බවයි.

ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පැවසීය.

එමෙන්ම ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනීසිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතාකර ඇත.

ඔහු ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැඳුනුම්පතක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම එහි සඳහන්කර ඇත.

මේ අතර ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා ඔහුට සහය දුන් බව පැවසෙන කාන්තාව කොළඹ ප්‍රදේශයේ හෝටලයක සිට අධිකරණ භූමිය වෙත පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

වෙඩිතැබීමෙන් පසු දෙදෙනා මරදාන වෙත ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් මීගමුව බලා ගොස් ඇති අතර මීගමුවේ සිට සැකකරු පමණක් වෑන් රථයකින් පුත්තලම දෙසට පළාගොස් තිබේ.

එලෙස පළාගිය සැකකරු පුත්තලම පාලවියේ දී අත්ඩංගුවට පත්වන විට ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලබා දී ඇත්තේ ව්‍යාජ ලෙස සැකසූ නීතීඥ හැදුනුම් පතයි.

එමෙන්ම, සැකකරු පලායාමට භාවිත කළ වෑන් රථයේ රියැදුරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එම පුද්ගලයාද කෙසෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අනුව, ඉදිරි විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධ සැබෑ තොරතුරු සහ ඔහුට ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සියලු දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම පැවසීය.